එක්සත් ජාතීන්ගේ සංවිධානය - Press Release

Sunday, March 17, 2019

එක්සත් ජාතීන්ගේ සංවිධානය


ක්‍රි.ව. 1914 සිට 1918 දක්වා පළමු ලෝක යුද්ධයත්, ක්‍රි.ව. 1939 සිට 1945 දක්වා දෙවන ලෝක යුද්ධයත් ලෙස ලෝක ඉතිහාසයේ ලෝක යුද්ධ දෙකක් තිබී ඇත. ඒවායින් මිනිස් ජීවිත මිලියන ගණනක් විනාශ විය. මෙම කාරණාව මුල් කරගෙන අන්තර්ජාතික ගැටුම් වලින් තොරව ලෝක සාමය පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් මතු විය. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් සමූහාණ්ඩුව සහ මහා බ්‍රිතාන්‍යය ඇතුළු රාජ්‍යයන් 26ක සහභාගීත්වයෙන් එක්සත් ජාතීන්ගේ පොදු එකඟතාවය 1942 වසරේදී ප්‍රථම වරට කෙටුම්පත් කළහ. පසුව ඇමෙරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට්, සෝවියට් සමූහාණ්ඩුවේ නායක ජෝෂප් ස්ටාර්ලින් සහ බ්‍රිතාන්‍යය අගමැති වින්ස්ටන්ට් චර්ච්ල් එක්ව 1945 අප්‍රේල් 25 වැනි දින ඇමෙරිකාවේ සෙන්ට් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ ගිවිසුමට අත්සන් තැබූහ. මෙම ගිවිසුමට ප්‍රකාරව 1945 ඔක්තොම්බර් මස 24 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත විය. එහෙයින් සෑම වර්ෂයකම ඔක්තොම්බර් මස 24 වැනි දින එක්සත් ජාතීන්ගේ දිනය ලෙස නම් කර ඇත.

ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමත්, ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීමත් මෙම සංවිධානයේ මූලික අරමුණ වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නම 'United Nations' විය යුතු බවට යෝජනා කර ඇත්තේ මෙම සංවිධානය බිහි කිරීමට පුරෝගාමියෙකු වූ එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පියා ලෙස හැඳින්වන්නේද මොහුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයින් ගණන 51 කි. අද වන විට මෙහි නිත්‍ය සාමාජික සංඛ්‍යාව 193 ක් දක්වා වර්ධනය වී ඇත. එසේ අවසන් වරට එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වූ 193 වැනි සාමාජිකයා වන්නේ දකුණු සූඩානයයි. මෙම සංවිධානයේ මූලස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පිහිටා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ප්‍රධාන ආයතන වන්නේ, 


  • එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය
  • එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ මණ්ඩලය
  • එක්සත් ජාතීන්ගේ භාරකාර මණ්ඩලය
  • එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය
  • එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික යුක්ති අධිකරණය
  • එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය

යන ආයතනයි. මීට අමතරව UNESCO, UNICEF වැනි එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතන කිහිපයක්ද වේ. එම එකිනෙක ආයතන පිළිබඳව විස්තර ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.

No comments: