ක්‍රීඩාවේ මහා මංගල්‍යය - ඔලිම්පික් - Press Release

Sunday, March 10, 2019

ක්‍රීඩාවේ මහා මංගල්‍යය - ඔලිම්පික්



ඔලිම්පික් ඉතිහාසය ක්‍රි.පු. 776 ට එපිට අතීතයක් දක්වා විහිදෙයි. ග්‍රීසිය නිජබිම කරගත් ඔලිම්පික් උළෙල ආරම්භ වූයේ සියුස් දෙවියන් ඇතුළු දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම උදෙසා සිදුකළ ආගමික උත්සවයක් ලෙසය. ඔලිම්පියාහි පිහිටි සියුස් දෙවියන්ගේ දේවස්ථානයට එක්වූ ග්‍රීක ක්‍රීඩකයෝ මීට සහභාගී වූහ. ඔලිම්පික් ඉතිහාසය තුළ පැරණි ඔලිම්පික් උළෙල හා නූතන ඔලිම්පික් උළෙල ලෙස පැහැදිලි අවස්ථා දෙකකි. ක්‍රි.පූ.776 සිට ක්‍රි.ව. 393 දක්වා පැරණි ඔලිම්පික් උළෙල සෑම සිවු වසරකට වරක් පැවතුණි. රෝම අධිරාජ්‍යයකු වූ තියඩෝසියස් ක්‍රි.ව. 393 දී ඔලිම්පික් උළෙල තහනම් කළේය. ඉන් වසර 1503 ට පසු, එනම් 1896 දී ග්‍රීසියේ ඇතන්ස් හිදී නූතන ඔලිම්පික් උළෙල ආරම්භ විය. ගිම්හාන ඍතුවේදී ගිම්හාන ඔලිම්පික් උළෙල හා ශීත ඍතුවේදී ශීත ඔලිම්පික් උළෙල ලෙස නූතන ඔලිම්පික් උළෙල ප්‍රධාන කොටස් දෙකකි. ප්‍රථම ගිම්හාන ඔලිම්පික් උළෙල 1896 දී ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවැත්වූ අතර ප්‍රථම ශීත ඔලිම්පික් උළෙල 1924 වර්ෂයේ ප්‍රංශයේදී ආරම්භ විය. අවසාන වරට ගිම්හාන ඔලිම්පික් උළෙල බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර 2016 දී පැවත්වූ අතර එය නැවත පැවැත්වෙන්නේ 2020 වර්ෂයේදී ජපානයේ ටෝකියෝ නුවරය. අවසාන වරට ශීත ඔලිම්පික් උළෙල 2018 වසරේදී දකුණු කොරියාවේදී පැවැත්විය.

ඔලිම්පික් ධජය

ආරම්භයේදී ග්‍රීසියට පමණක් සීමා වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්තමානය වන විට මුළු ලෝකය පුරාම ව්‍යාප්තව පවතී. එය විදහා දක්වමින් ඔලිම්පික් ධජය නිර්මාණය වී ඇත. 1913 දී නිර්මාණය කෙරුණු ඔලිම්පික් ධජය ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරුණේ 1914 වර්ෂයේ පැරීසියේ පැවැත්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 20 වැනි සංවත්සර‍ උළෙලේදීය. නමුත් එය ඔලිම්පික් ක්‍රීඩා තරග සඳහා යොදා ගැනුනේ 1920 දීය. සුදු පසුබිමක පිහිටි කහ, කළු, රතු, කොළ, නිල් යන වර්ණ පහක වළලු පහක් ඔලිම්පික් ධජයේ ඇත. එම වළලු පහ පිළිවෙලින් ආසියා, අප්‍රිකා, ඇමෙරිකා, ඕස්ට්‍රේලියා හා යුරෝපා යන මහද්වීප පහ නිරූපණය කරයි.

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ඉතිහාසය

නිදහස් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ප්‍රථම වරට ඔලිම්පික් තරගාවලියට සහභාගී වූයේ 1948 වසරේදී ලන්ඩනයේ පැවැත්වූ ඔලිම්පික් උළෙලටය. එම කණ්ඩායමේ නායකත්වය හෙබ වූයේ කඩුළු පැනීමේ තරගයට සහභාගී වූ ඩන්කන් වයිට්ය. මෙම කණ්ඩායමට මළල ක්‍රීඩකයන් තුන් දෙනෙකු සහ බොක්සිං ක්‍රීඩකයන් සිවු දෙනෙකු ඇතුළත් විය. එහිදී ඩන්කන් වයිට් මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර දුන් අතර එය ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කමයි.
අනතුරුව 2000 වර්ෂයේ සිඩ්නිහි දී පැවති ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 කාන්තා තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ලබා ගත්තාය. ඉන් ප්‍රථම ස්ථානය දිනා ගත් මේරියන් ජෝන්ස් ක්‍රීඩිකාව තහනම් උත්තේජක භාවිතා කළ බවට පසු කාලීනව තහවුරු වූ පසු ඇගේ රන් පදක්කම තරගයේ දෙවන ස්ථානය දිනූ ක්‍රීඩිකාවට ලැබුණු අතර සුසන්තිකා ජයසිංහට රිදී පදක්කම හිමි විය.




No comments: